English ඉගෙන ගන්න කැමති කොල්ලොන්ට බොක්කටම වදින්න උපදෙස් ටිකක්. අදියර 2

අහම්බෙන් FB එකෙන් මට හමුවෙච්ච මිතුරෙක් තමයි මනෝරම් වීරසිංහ කියන්නේ. ඉතින් එයා FB එකේ අවස්තා දෙකකදී ලිපි දෙකක් පලකලා, මේ ඉංග්ලිශ් හදාගන්න ඕන අඩිතාලම ගැන. මේකෙන් අපේ මොරාල් එක හදාගන්න පුලුවන්. ඉතින් වැඩි කතා ඔනේ නෑ. කියවලම බලන්න. ලොකු පාඩම් 10 කට වඩා මේ කතාවේ සැගවුනු පාඩම ජීවිතයට එකතුකරගන්න. මගේ පලුමු ලිපිය කියෙව්වෙ නැති අය මෙතනින් ගිහින් කියවන්න.

ඒ වගේම තමයි පෙර අවස්තාවකදී සක්විතිගේ Audio Lessons 8 ක් දුන්න මතකනේ. ගත්තෙ නැති කට්ටිය මෙතනින් ගන්න.

ඉංගිරිසියට පදනම - 2

ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගන්න පුහුණු වෙන්න කැමති අයට සරල නමුත් ප්‍රතිඵලදායී පෝස්ට් එකක් දැම්මා... බුකි ඉතිහාසයේ මම ලබපු ඉහළම ප්‍රතිචාර එයට ලැබුණා.. ඒ හින්දා ඒකෙ දෙවැනි පියවරයකුත් ලියන්න හිතුණා... ඉංග්‍රීසි කථාව ගැන

මේ දෙවැනි දස පණත..

1. Spoken English සහ Written English කියා සිංහල භාෂාවේ මෙන් ජාති 2ක් නැත. කියන දේද ව්‍යාකරණානුකූලව නිවැරදිය. ලියන දේද එසේමය. සිංහලයේ මෙන් රස්තියාදු බස, ප්‍රාදේශීය ව්‍යවහාර හා කුණුහරුප ඉංගිරිසියේද ඇත. ( Dialect, Slang, Taboo) ඒවා මුලින් ඉගෙන ගැනීම නිෂ්ඵලය.

2. ඉංගිරිසි කථාවට මූලිකම ඇති බාධාව ලජ්ජාව, බිය හා සබකෝලයයි.. ඉංගිරිසියෙන් කතාකිරීමට මුත්තා ගේ සිට පියා දක්වා අය ඉංග්‍රිසීයෙන් වැඩකළ අය විය යුතු නොවේ. පිටරට භාෂාවක් නිසා වැරැද්දුවාට කිසිදු ගැටලුවක් නැත.. ගෙයක් හදන්නට ගඩොල් මෙන් භාෂාව ගොඩනගන්නට අවශ්‍ය අමුද්‍රව්‍යය 'වචන' වෙයි. වැස්සකටවත් පාසල් නොගිය වයස 16ක දරුවෙක් ඉංග්‍රීසි වචන 20000ක් දන්නා බව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියෙක් මා සමග පැවසුවා. සාමාන්‍යයෙන් වචන 25000ක් මෙයට ප්‍රමාණවත්. නමුත් ඔබ ඊට වඩා දන්නාබව ඔබ නොදන්නා බවයි ලජ්ජාවට කරුණ! ඒවා එකට පූට්ටු කිරීම 'කතාව' කියල කියනවා!!

3. කතාව පුරුදු වීමට ඇතිතරම් සම්පත් අපි ගාව තියෙනවා.. මොනවා හෝ හිතෙන දෙයක් හෑන්ඩ්ස් ෆ්‍රී එක ගහල ෆොන් එකේ වොයිස් රෙකොඩරේට කුටු කුටු ගගා හරි ඉංග්‍රීසියෙන් කියන්න.. සභාවක කතාකරනවා කියල හිතං මොනවා හෝ කියන්න..කාටවත් ඇහෙන්නෙත් නෑනෙ.. ඕක බස්එකේ යනගමං, කෝච්චියෙ යන ගමං අහන්න.. ඒක ඉංග්‍රීසි සින්දුවක්, පත්තරේක ලිපියක්, සංගීත සන්දර්ශනේක හදුන්වා දීමක්, ප්‍රවෘත්ති ප්‍රකාශයක් මොනවා හෝ කමක් නෑ.. දෙවෙනි පාර අහද්දි මේ මේ තැන්වල අඩුවක් තියෙනවා කියල තමුන්ට 'දැනෙනව'! ඒ දැනීම අනුව හිතට සැටිස් වෙනකං ඒ වරද හොයල නිවැරදි කරගන්න...

4. ලෝකෙ හිටපු ගොඩක් අය කතාවට හපන්නු නොවේ.. පුරුදුවෙලා තමා කතාකරන්නෙ.. මේ ලියන මට වේගෙන් කතාකරන්න බැරි නිසා මම ඉංග්‍රීසියෙන් කතාකරන්න අවස්ථාවක් ආවම මගේ ස්වරය ඉතාම මන්දගාමි කරනවා..මොකද දඩ-බඩ ගාලා කතාකරන්න ගියොත් ඉක්මනට හිරවෙනවා.. වෙලාව අරං හිමිට කතාකරන්න..එතකොට වාක්‍ය හදාගන්න පුලුවන්.. මට වතාවක් ඇක්වයිනස් ආයතනයේ අවසාන වසරේ පරීක්ෂණයට නියමිතව තිබුණා සර් වින්ස්ටන් චර්චිල්ගේ යුද කතාවක් (War Speech) ඒක ඉතාම බැරෑරුම්ව කරන්න ඕනි. මම චර්චිල්ගෙ මූණ දිහා ඉස්සෙල්ලා බලං හිටියා.. ජංජාලෙන් වීඩියෝ එකක් බැලුවා..

දැන් මීටර් වුණා චර්චිල් නිකං ඇල්ෆ්‍රඩ් හිච්කොක් වගේ පොරක් නිසා කද විසාල නිසා වොයිස් එක ඇග ඇතුලෙ තියෙන්නෙ කියල. ඉංග්‍රීසිය ලිප්ස් ක්ලොස්ඩ් භාෂාවක් නිසා ඝර්ම කලාපයේ වගේ කටඇරල 'හායි' ගාලා කියන්න බෑ. දැන් පුහුණුවීම ගැටලුවක්. අපේ නිවසේ එලියේ ඇති වැසිකිළිය ඊට කදිම තැනක්.. ඔබත් නිවසින් බැහැර වැසිකිළියක් ඇත්තම් වාසනාවන්තයෙක්..

වැසිකිලියේ කරාමට අරින්න.. වතුර අපතේ ගියාට කමක්නෑ..අපේ ශබ්දය පිටට නොයන්නයි ඕනි.. ඉන්පසුව කරේ අර සටහන හෙන හිතට අරං..තමුන් හෙන පොරක් කියල ඇගට අරං බරසාර විදියට තනියම කතාකරපු එක.. වැසිකිළියට ආපු දිමියන්ට, කුඹීන්ට එය හොද දේශනයයක් වන්නට ඇති. ඔබත් අත්හදා බලන්න.

5. හැමවෙලාවෙම නිවැරදි උච්චාරණයට යොමුවෙන්න.. පෑඩ් (Pad) එකට 'ෆෑඩ්' කියල වැඩිකරල කියන්න යන්නත් එපා! අපි නිතර වැරැදියට කියන 'වෙහිකල්' (වීක්ල්), එනිලොප් (ඔන්විලොප්) ඔය වගේ වචන ඕනි තරං තියෙනවා.. ඒවා හරි සුද්දාගෙ ටයිප් එකටම කියන්න.. දේශීය වචන සම්මත ශ්‍රී ලංකා ඉංග්‍රීසියෙන් කතාකරන්න.. ඒ කිව්වෙ නගර නම්, සම්ප්‍රදායික වචන, කැවිලි පෙවිලි ආදියට අපේ වචනයම යොදන්න.

6. තාක්ෂණය දියුණු නිසා ස්කයිප්, වයිබර්, මැසෙන්ජන්, ෆේස්බුක් හරහා යුරෝපීය රටවල මිතුරන් ඇතිකරගන්න...විරුද්ධ ලිංගිකයන් වීම ඉතාම වැදගත්.. ඔවුන් සමග චැට් කිරීම, කතාකිරීම තරම් භාෂාව ඉගෙනගන්නට වෙන ක්‍රමයක් නැහැ.. එැවන්නෙකුගෙ ලිපිනයකට සුළු සිහිවටනයක් තැපැල්කර ඔහුගේ/ඇයගේ සිත දිනාගෙන දිනපතා මොනවා හෝ වල්පල් කියවන්න.. ප්‍රේම බැරි නං අහවල් එකද කරාට කමක් නැත..! තාක්ෂණයෙන් වැඩගතයුත්තේ එසේය..චැට් කරාට සියදිවි නසාගන්නට තරම් විදේශ රටවල මිනිසුන් බොළද නැත! (චීනුන්, ඉන්දියන්කාරයින්, ජපනුන්, ප්‍රන්ස, ජර්මන්, රුසියානුවන් මළාට චැට් හෝ කතාබහ වලට වද්දා නොගන්න)

7. තමුන්ගේ ගමෙන් බැහැරව KFC, FoodCity, පෞද්ගලික බැංකුවකට ගිය විට ඉංග්‍රීසියෙන් අදාල දේ ඉල්ලා සිටින්න.. වැරදුනත් ගමේ නොවන නිසා චාටර් නැත. ඔය පොෂ් විදියට පෙන්නාගෙන ඉන්නා සමහරුත් අපි වගේමය! ඒ නිසා ඉංගිරිසියෙන් කතාබහ කළ හැකි සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන වලට අවස්ථාවක් ලද වහා සහාභාගී වන්න. තරමක් භාෂාව පුරුදු වූ ගමන් එය ලස්සනට කතාකරන්නට පුරුදු වෙන්න.. එනම් Idioms භාවිතයයි.. rarely (කලාතුරකින්) කියනවාට වඩා Once in the blue moon (හාවා හද දකින්නා වගේ) වැනි යෙදුම් යොදා කතාකරද්දි ඔබ යමක් දන්නා අයෙකු බව භාෂාව 'දන්නා' අයට දැනෙනු ඇත.

8. Cricinfo (Website), CricBuzz (Android App) වැනි අඩවි වලින් ක්‍රිකට් තරග විචාරයන් කියවන්න... එය ඔබ විසින් වොයිස්රෙකෝඩරයට නැවත කියන්න.. ඉන්පසු සවන්දෙන්න. දින 100ක් තුළ එවැනි පුහුණුවීමක් හරහා ඉතාම හොදින් වචන ගලා එන තරමට ඔබට කතාව පහසුවනු ඇති.

9. ඉංග්‍රීසි කවි ලියන්න..ඔබ්සවර්, නේෂන් වැනි පුවත්පත් කියවන්න.. ඒවා‍යෙ බාෂාව එතරම් අමාරු නැත. නමුත් සන්ඩේ ටයිම්ස් වැනි පුවත්පත් වල ඉංග්‍රීසිය තරමක් තේරුම්ගැනීමට දුෂ්කර අවස්ථා ඇත. ෆෙඩ්රිකා ජෑන්ස් වැනි කුප්‍රකට මාධ්‍යවේදිනිය ලියූ ලිපි වල භාෂාව මනරම්ය.. අන්තර්ගතය කුමක් වුවද..
ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය යනු දෙකකි.. සාහිත්‍යයට පළමු භාෂාව කතාකරන්නට තරමක් හෝ දුරට හැකි විය යුතුය..

10. ඔබට දවසින් දෙකෙන් සංගක්කාර මෙන් කතාකරන්නට පුරුදු විය නොහැක. සම්මුඛපරීක්ෂණ වලදී පවා ඉංගිරිසි කතාකිරීමට ප්‍රමුඛස්ථානයක් ලබාදේ... එබැවින් අවශ්‍ය අද පටන්ම උත්සාහ කිරීමයි.. දවසට වාක්‍යයක් හදාගෙන කතාකළහොත් ඔබට වසරකට වාක්‍ය රටා 365ක් ඉගෙනගත හැකිය.. ඒ කාර්යය සදහා සුදුසුම දෙය වන්නෙ සිංහල ළමා කතා පොතක් ගෙන එය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි.. එමගින් ඔබට වාක්‍යයක් හදාගන්නා අයුරු ඉක්මනින් ඉගෙනගත හැකිය....


ඔබට ජය පතමි.. මම ද හැකි සෑම විටම වැසිකිළියට හෝ නානකාමරයට වී ඉංගිරිසියෙන් කතාකරන්නෙ මා ඉදිරිපිට තවෙකෙක් ඉන්නවා යැයි සිතාගෙනය.. එවිට හොදින් නොදැනීම මළ පහවේ.. ලොව ඇති විශිෂ්ටතම හඩ පෞරුෂය ඇත්තේ තමාට බව නානකාමරය වසාගෙන ගී ගයද්දී ඔබට පසක් වෙනවා සේම...මෙයද අත්හදා බලන්න...

මේවා ජාත්‍යන්තර මට්ටමේ විධිමත් ක්‍රමෝපායන් නොවන බවත් ශ්‍රී ලාංකික අපිට හරියන ප්‍රායෝගික උපායන් පමණක් බවත් දන්වනු කැමැත්තෙමි..
 
මනෝරම වීරසිංහ 

Comments

desh igena ganna ayatanam niyamai